නිවස යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ අප සෑම කෙනකුටම සැප, නිරෝගී බව, ආයුබල හා සතුට පෙරදැරි කරගෙන ජීවත්වීමට සුදුසු ස්‌ථානයයි. මිනිසාගේ බුද්ධි වර්ධනය මෙන්ම ගංගා, ඇළ දොළ ආශ්‍රිතව තිබූ සම්පත් උපයෝගී කර ගනිමින් අව්වෙන් වැස්‌සෙන් ආරක්‌ෂා වී දිවා රාත්‍රී ජීවත් වීම පිණිස නිවාස තැනීම ආරම්භ කරන ලදී. මෙහි අවසාන ඉලක්‌කය වූයේ විශ්ව ශක්‌තීන් මිනිසාට හිතකර අයුරින් හඳුන්වා ගනිමින් ඒවායේ උපරිම පල නෙළා ගැනෙන ආකාරයට තම නිවාස ඉදිකර ගැනීමයි.
ඒ අනුව සිරිත් විරිත් සම්ප්‍රදායන් ලෙස භාවිතයට විත් පසුව රීතින් මාලාවක් ඔස්‌සේ වර්ධනය වන විද්‍යාවක් බවට පරිවර්තනය වී ව්‍යාප්ත වන්නට විය. විශ්වයේ පවතින ග්‍රහ වස්‌තූන් සැලකිල්ලට ගනිමින් පුරාණ සෘෂිවරයන් විසින් මිනිසාට යහපත් ලෙස ජීවත් වීමට ඉවහල් වන සියලු අංගෝපාංග (නිවාස, ළිං, මංමාවත්) කිසියම් රීතීන් මාලාවක් ඔස්‌සේ කළ යුතු ආකාරය වාස්‌තු විද්‍යාව මගින් පෙන්වා දී ඇත. ඒ අනුව මිනිසා විසින් වාස්‌තු ශිල්පමය ක්‍රම පිළිබඳ නැඹුරුවක් දක්‌වමින් තම වාසස්‌ථාන තනා ගැනීම ආරම්භ කරන ලදී.
නිවසක් සෑදීම සඳහා භූමියක් තෝරා ගන්නා තැන සිටම අප ඉතා කල්පනාකාරී විය යුතුය. මෙහිදී ඉඩමේ පිහිටීම, ඉඩමේ හැඩය, ඉඩමේ ඇති පස වැනි දෑ පිළිබඳව අවධානය යොමුකළ යුතුය. ඉඩමක උතුර නැඟෙනහිර දිශාවන් පහත්ව තිබීමත්, දකුණ බටහිර දිශාව උස්‌ව තිබීමත් යහපත්ය. උතුරු නැඟෙනහිර දිශාවන් පහත්ව තිබීම ධනාත්මක ශක්‌තීන් ගලනයට යහපත් වේ.
උතුරින් හා නැඟෙනහිරින් ධන ශක්‌තීන් ලැබෙන අතර ඊට මැදිවූ ඊසානයෙන් ධන ශක්‌ති දෙගුණ වී ලැබේ. එයට විරුද්ධ වූ නිරිත පෙදෙසේ පවතින්නේ සෘණාත්මක ශක්‌තීන්ය. එම දිශාවන්ට අයත් මෙම ශක්‌ති පදාර්ථයන් නිවැරැදිව තේරුම් ගැනීම තුළින් වාස්‌තු විද්‍යානුකූල නිවසක් සැලසුම් කළ හැකි වේ.
මේ අතර අප ඉඩමක පාද ගැන කතා කරමු. සෑම ඉඩමකම ප්‍රේත පාද, දේව පාද, මනුෂ්‍ය පාද, බ්‍රහ්ම පාද යනුවෙන් කොටස් 4 කට බෙදා දක්‌වයි. මෙමගින් නිවසක් තනා ගැනීමේදී ප්‍රේත පාදය ඉවත් කළ යුතු වන්නේ අනාරක්‌ෂිත බව නිසාය. වැට මායිම් අසල නිවසක් ඉදිකිරීම තුළින් ආරවුල්, අපිරිසිදුකම, අනතුරු ආදී දේ ඇති වන්නට ඉඩ තිබේ. මේ නිසා ප්‍රේත පාදය නිවාස ඉදිකිරීමේදී අත්හළ යුතු වේ.(ඉඩමක පාද ගැන මෙනනින්)
මිනිසාගේ හදවත බඳු වූ ඉඩමේ බ්‍රහ්ම පාදය අපිරිසිදු නොකොට තැබිය යුතුය. ඉඩමේ බ්‍රහ්ම පාදය ඉතා වැදගත් වේ. නිවස මත බ්‍රහ්ම පාදය පෑගීම සුදුසු නොවේ. බ්‍රහ්ම පාදය බිත්aතියක් මතට වැටීමද සුදුසු නොවේ. එමගින් බිත්තියෙහි සවි ශක්‌තිය නැතිව යයි. විශ්ව ශක්‌තිය නිවස තුළට ගලා එන්නේ බ්‍රහ්ම පාදය පිහිටි ස්‌ථානයටයි. නිවස පුරා එම ශක්‌තිය විසිරී යන්නේ ඉන් පසුවය. නිවසක ගිනි කතුරට අසුවන ලෙස නිවසේ කුමන හෝ උප කොටසකට දොර තබා භාවිතා කරන්නේ නම් එම කොටස පාළුවට යන අතර යම් හෙයකින් භාවිත කරන්නේ නම් භාවිත කරන අයට අනේකවිධ නීතිමය ගැටලුවලට මුහුණ පාන්නට සිදුවන අතර එසේ නැතහොත් නිතර කේන්ති ඒම, නුරුස්‌නා ගති මෙන්ම අනේකවිධ ව්‍යාකූලතා ඇති වේ.
නිවසක් සමචතුරස්‍රාකාර නොවන පරිදි දිග පළල නියමිත පරිදි යොදාගෙන පාද බෙදා වර්ගඵලය ගණිතමය ක්‍රම අනුව සකස් කරන්නේ නිවසක අත්තිවාරම් බිත්ති මෙන්ම වහළ ස්‌වාභාවික උවදුරු අව්වැසි සොර සතුරු මෙන්ම තිරිසන් සතුන්ගේද උපද්‍රවවලින් තොරව ගොඩනඟා ගැනීමටය. ඒ අනුව වාස්‌තු පුරුෂ සංකල්පයේ ප්‍රධාන කරුණු 3 ක් පිළිබඳ සලකා බැලේ.
1. සමබරතාවය
2. සමතුලිතතාව
3. අංගසම්පූර්ණත්වය
සමබරතාව යනු නිවසේ බර භෞතික පොළොව මත යොදන වර්ගඵලයට සෑම තැනින්ම සමාන තෙරපීමක් හෙවත් පීඩනයක් ඇතිවන පරිදි ස්‌ථානගත කිරීමයි. එසේ සමබර නොවූ විට බිත්ති පිපිරීම, ගිලාබැසීම, ඇලවීම යන භෞතික අයහපත් තත්ත්ව ඇති වන අතරම යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්‌ඩ, පිසාච ආදී ශක්‌තීන්ද අසමබර පද්ධති තුළ වාසයට ප්‍රිය බැවින් ඔවුන්ද ස්‌ථානගත වීමේ ඉඩකඩ වැඩිවේ.
සමබර පද්ධතියක ශක්‌ති සම්ප්‍රේෂණය සමතුලිතතාවයයි. තෙරපීම අඩුවැඩි වශයෙන් පවතින විට සම්ප්‍රේෂණද අසමතුලිත වේ. ඉහත කී අයහපත් ශක්‌තීන්ගේ බලපෑම් නිරන්තර නිවසට එල්ල වේ.
අංගසම්පූර්ණත්වය සම්බන්ධයෙන් කතා කරන විට දෝෂ වර්ග 4 ක් පිළිබඳ පෙන්වා දිය හැක. මෙය පොරෝ තල හැඩ නිවාස ලෙස සමාජගත වී ඇත. වාස්‌තු පුරුෂ සංකල්පය අනුව නිවසේ ඊසාන, ගිනිකොන, නිරිත සහ වයඹ යන කොන් සතර අඩු වීමෙන් නිර්මාණය වන මෙම පොරෝ හැඩතල නිවාසවල දෝෂකාරී තත්ත්ව මතුවන බව පෙනේ. මේ නිසා නිවසක අංගසම්පූර්ණත්වයද වැදගත් වේ.
නිවසක කාමර හරි හතරැස්‌වීමද අශුභදායක වේ. එනිසා වාසය කරන්නන් තුළ නිතර කේන්ති පැමිණීමේ කාරකත්වයන් වර්ධනය වේ. එකිනෙකා නුරුස්‌නා ස්‌වභාවයන් වර්ධනය වේ. නිවසක එක් පැත්තක පමණක් කාමර පිහිටුවීම දෝෂ සහිතයි. නිවසේ සමබරතාව නැතිව යන අතර එනිසාම සමතුලිතතාවද බිඳ වැටේ. මෙවැනි නිවාසවල කරන කියන දේවල සමබරතාව හා සමතුලිතතාව නොරැකේ.
නිවසක් සත්‍ය වශයෙන්ම පවුලක් සංකේතවත් කරයි. මුදුන් බිත්ති, යටලී, ප්‍රධාන උළුවස්‌ස, ගිනි කතිරය මේ සියල්ල නිසි අයුරින් සකස් විය යුතුය. ගෘහයන් තුළද ගෘහ මූලික යුවළ ශක්‌තිමත් නොවී සිටියහොත් පවුලේ ගරාවැටීම සහතිකය. පවුලක වුවත් යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් සීමා බන්ධන සෑම දෙයක්‌ම සොබාදහමට අනුව පිහිටිය යුතුය. නිවසක පොරොන්දම් බැලීමෙන් නිවසක් අනාගතය සඳහා පිහිටුවන්නේ ඒ නිසාවෙනි. එම නිවස ජීවිත කිහිපයක සෙවණක්, ආරක්‌ෂාවක්, සමෘද්ධියක් සහ පවුල් ඒකකයක මූලික පැවැත්මත් නිසාය. නිවසකටද අයවැය පොරොන්දම, ආයුධ පොරොන්දම ඇත්තේ එබැවිනි.
මිනිසා මහ පොළොව මත ඉපිද වාසයකොට එහිම වැළලෙන හෙයින් දෝෂ විෂමතාවන් ගහන බිමක ජීවත් වේ. මේ නිසා නිවාස තැනීමේදී ඉතාම සුපරීක්‍ෂාකාරී විය යුතුය. වාස්‌තු විද්‍යා ගුණාංග රකිමින් ඉදිකරන නිවස සම්පතක් වන්නේ ඒ නිසාය.
නිවසක් තැනීමේදී ගෘහ නිර්මාණ ශිල්පය, වාස්‌තු විද්‍යා ක්‍රම හා පාරම්පරික මත පිළිබඳ අප සැලකිල්ලක් දක්‌වන්නේ ඒ තුළ කිසියම් ගුප්තමය හෝ හරවත් යමක් පියවි ඇසින් නොදකින නොපෙනෙන යමක් අත්පත් කරගත් නිසාවෙනි.මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී අපට හැඟී යන්නේ වාස්‌තු විද්‍යාව හුදෙක් විශ්වාසය මත පදනම් වූවක් නොවන අතර ඒවායේ සැලකිය යුතු අන්දමක විද්‍යාත්මක පසුබිමක්‌ද තිබෙන බවයි.
(අන්තර්ඡාලය ඇසුරෙනි)
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........