ඉමක් කොනක් නොපෙනෙන සසර කතරේ ඔබත් මමත් සැබෑම අසරණයෝ වෙමු. බුදුරජාණන් වහන්සේ වදාළේ, සසරෙහි මුල බුදුඇසටවත් නොපෙනෙන බවයි. එතරම් දීර්ඝ වූ සසර ගමනක් ඔබට මට හිමිව තිබෙනවා.
වරක් බුදුරජාණන් වහන්සේ, මහණෙනි කියා භික්‍ෂූන් වහන්සේ අමතා මෙසේ වදාළා. “මහණෙනි, දඹදිව් තලයේ සියලු වෘක්‍ෂ අඟල් සතරේ කැබලි වලට කපා එක් කැබැල්ලක් එක් ආත්ම භාවයක මව යැයි වෙන් කරන්න. තවත් කැබැල්ලක් මෙය ඒ භවයේ පියා යැයි වෙන් කරන්න. එහෙත් මහණෙනි, සසර ගමන තුළ මව්වරුන් පියවරුන් අවසන් නොවේ. එහෙත් දඹදිව් තලයේ සියලු වෘක්‍ෂ අවසන් වේ.”
එසේනම් පින්වතුනි, අප මොනතරම් දීර්ඝ සසර ගමනක් ඇවිද තිබෙනවාද? පූර්ව වාසනාවකට නැවතත් මිනිසත්භවයක් ලබා තිබෙනවා. එනිසා දුර්ලභව ලැබූ මේ ජීවිතය අයාලේ යන්නට ඉඩ සලසනවාද? එසේත් නොමැතිනම් ධර්මානුකූල වෙනවාද?
අපට පෙර ජීවිත බැලීමේ හැකියාව නැති නිසා ඔබ මා අසරණ වෙලා. ඔබ, මා පෙර ජීවිත ගැන දන්නේ නම් හිස ගිනිගත්තකු ඒ ගින්න නිවන්නට මහන්සි ගන්නවා මෙන් මේ අසංවර සිත දමනය කරන්න වීරිය කරනවා. දැන් ඒ සඳහා සුදුසුම කාලයයි පැමිණ තිබෙන්නේ. අත් නොහැර බුදු සසුනෙන් උපරිම ඵල නෙළා ගනිමු.
ඔබ අසා තිබෙනවාද කොහොල්ලෑ බබාගේ කතාව? එක් වඳුරෙක් කොහොල්ලෑ බබෙක් දැක ඇත්තටම කවුද කියා බලන්න සිතී එක් අතක් තැබුවා. අත ගලවා ගන්න බැරි වුණා. එයාට තේරුණා මේක මොකක්හරි උගුලක් කියා. එහෙම සිතා ඒකෙන් ගැලවෙන්නට අනෙක් අතෙන් වීරියෙන් ඒ අත ගලවා ගන්න උත්සාහ කළා. අත් දෙකම ඇලුණා. දැන් කරගන්න දෙයක් නැහැ කියා කල්පනා කර පපුව තබා තද කළා. ඒකත් ඇලුණා. දැන් ඉතිරි කකුල් දෙකයි ඔළුවයි විතරයි.මෙයා ඔළුවෙන් ගැලවෙන්න බැලුවා. ඒකත් ඇලුණා. කකුල් දෙකෙනුත් උත්සාහ කරන විට ඒවත් ඇලුණා. දැන් වඳුරා කොහොල්ලෑ බබාගේ උගුලට අහුවුණා. විපතකට පත් වුණා.
ඔබත් මේ වගේමයි නේද? ටිකක් සිතා බලන්න. සොඳුරු යෞවනයේ ආදරය සොය සොයා දුක් වින්දා. විවාහයෙන් පසු ඇලීම්වලට අහුවුණා. දැන් වඳුරට වුණ දේ නේද සිදුවුණේ. ඒත් අපට නම් ගැලවීමක් තිබෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය.
බලන්න, සැප විඳින්න කියා හිතලා වින්ද කරදර ගොඩක්. ඒත් තවම ඒ බව දැනිලා නෑ. එහෙම නැත්නම් කරකියා ගන්න විධියක් නැතිව අසරණ වෙලා නේද? ටිකක් සිතා බලන්න. ඇලීමයි ගැටීමයි එක්ක නේද අප ජීවත් වෙන්නේ? දන්නවද ඔබ, අප මරණයට පත්වන විට විපාක පිණිස ආයතන හයෙන්ම කර්ම සැකසෙන බව. එය ගොඩක් ගැඹුරු කරුණක්. පටිච්ච සමුප්පාදයට අනුව ‘භවය’ යන්නෙන් සඳහන් වන්නේ මෙයයි.
ඉගෙන ගන්න කාලේ අධ්‍යාපනයට සිත යොමු වුණා. තරුණ භද්‍ර යෞවනය අපට නොදැනී ගෙවී ගියා. මැදිවිය දරුවන් වෙනුවෙන් කැප කළා. සැඳෑ සමයත් මිණිපිරියන් මුණුපුරන් වෙනුවෙන් වෙන් වුණොත් මරණින් මතු කුමක් වේද? නොඑසේ නම් ඉඩකඩම් දේපොළ වස්තුව ගැන කෑදරකම ඇතිවී ඒවා දැඩිව සිතෙන් අල්වාගන්න උත්සාහ කළොත් මරණයේ දී සත්තකින් ම අප අසරණ වෙනවා. එසේ නම් කොහොමද මෙයින් ගැලවෙන්නේ? සසර බිය ඇතිකර ගෙන කුසල් වැඩීමයි කළ යුත්තේ. එනම් ධර්මානුකූල වීමයි.
පින්වතුනි, ඔබට වටහාගතහැකියි අද සමාජයේ බොහෝ අය මියගොස් උපත ලබන්නේ ප්‍රේත ලෝකයේ. ඇයි ඒ? බොහෝ ආශාවෙන් මැරුණාම එහෙම වෙනවා. සමහර අය මියයන්න ළං වුණාම ජීවිතය විඳින්න ඕන කියා දැඩි ආශාවක් මතුවෙනවා. එවිට වයෝවෘද්ධ වී කාලය බොහෝ ඉක්ම ගිහින්. මිල මුදල්, දේපොළ වස්තුව, කුඹුරු වතුපිටි යන මේ සියල්ලම මගේ කියා හිත හිතා ප්‍රවේසම් කරනවා. අවසානයේ මිය ගොස් ප්‍රේතයෙක් වී ඒවාට අරක්ගෙන සෙම සොටු අනුභව කරමින් හුල්ල හූල්ල ජීවත් වෙනවා.
සිතා බලන්න, උත්තරීතර මනුෂ්‍යයෙක් වී නිලතල නම්බුනාම ලබා භෞතික ජීවිතයේ සැප සම්පත් දායාද ලබා නැවත දුක් ඇති ප්‍රේත ලෝකයේ ඉපදීම මොනතරම් දුකක්ද? මිනිසුන්ට මෙන් ප්‍රේතලෝකයේ සැපට කන්න බොන්න ලැබෙන්නේ නෑ. අඳින්න පළඳින්න යානවාහන නෑ. දුක්වලින් පිරුණු ලෝකයක් ප්‍රේත ලෝකය. මානසිකව අප ඇතිකරගන්න මේ ආශා නිසයි අපට එහෙම වෙන්නේ. අපි වයසට යන්න යන්න ටිකෙන් ටික ආශාව අත්හරින්න ඕන. ජීවිතාවබෝධයට උපකාරවන ධර්මය හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ තමයි කළ යුතු වටිනාම දෙය.
එහෙත් අද අප ධර්මය අමතක කර බොහෝ ඈතට ගිහින්. සද්පුරුෂයන් අමතක කරලා. ජීවිතය කියා සෙවූ සැපය නැති වෙලා. ලස්සනට තිබුණ ශරීරයත් වයෝවෘද්ධ වීමත් සමඟම සම රැළ වැටී වෙනස් වෙලා. කෙස් පැසී දත් වැටිලා. ස්වභාවධර්මය අපට උගන්වන පාඩම ඔබ දන්නවද? ඒ තමයි දැන් සිල් ගුණ දම් වඩන්න කාලය ඇවිත් කියන කරුණ.
ඒත් අපි පුංචි කාලේ සිට ධර්මයට ඇවිත් නැත්නම් යමක් වැටහෙන කාලෙකවත් ඇවිත් තිබුණොත් අනතුරින් මිදෙන්න පුළුවන්. එහෙත් යම් කෙනෙක් අවසාන කාලෙකදිවත් ධර්මය කරා නොපැමිණියහොත් මරණය ඉදිරියේ මේ අය අසරණ වෙනවා නියතයි.
බුදුරජාණන් වහන්සේ දවස, වයසක දෙපළක් පාරේ ගමන් කරන විට භාග්‍යවතුන් වහන්සේ මඳ සිනහ පහළ කළා. එය දුටු ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද කියා.
“ආනන්දය, ඉදිරියේ යන වයසක දෙපළ දුටුවාද?”
” එසේ යැ ස්වාමිනී.”
“ආනන්දය ඔය දෙපළ තරුණ වියේදී ධර්මය කරා පැමිණ සිටියේ නම් අනාගාමි වීමට වාසනාව තිබුණා. මැදිවියේ පැමිණියේ නම් සකදාගාමි වීමට තිබුණා. අවසානයේදී ධර්මය ඇසීමට පැමිණියේ නම් සෝවාන් වෙන්න තිබුණා. එහෙත් ආනන්ද, දැන් බොහෝ වයෝවෘද්ධයි. ධර්මය සිතෙහි පිහිටන්නේ නැහැ.’
සිතා බලන්න, අපටත් මෙහෙම වුණොත්? වටිනා මැණිකක් ළඟ තබාගෙන මැරෙනවා වගේ නේද බැලූ බැල්මට සිතෙන්නෙ? අප ජීවිතේ ගෙන බැලුවොත් එයින් හරි අඩක්ම නිදාගෙන ඉඳලා තිබෙනවා. ඉතිරි භාගයෙන් රැකී රක්‍ෂා යුතුකම් ආදියට වෙන් වුණාම තව පුංචි කාලයක් විතරයි ඉතිරි වෙන්නෙ පින්දහම් කරන්න. ඒකත් බැරිවෙනවා ලෙඩක් දුකක් හැදුණොත්. ඒ ආකාරයට බැලුවොත් අපට කුසල් වඩන්න කාලයක් ලැබෙන්නේ ම නැහැ නේද? ඇත්තට ම නැහැ. එසේ නම් අපි දක්‍ෂ වෙන්න ඕන. කුසල් දහම් වඩන්න කාලය ලබා ගන්න.
පළමුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගන්න ඕන. එය නෙවෙනස් අචල ශ්‍රද්ධාවක් විය යුතු යි. තුනුරුවනට වඩා වටිනා දෙයක් ජීවිතය තුළ නොමැති විය යුතු යි. එයයි බෞද්ධකම. බෞද්ධයා කියන්නේ අවබෝධය සහිත පුද්ගලයාට. ඔහු සිල්වත් වෙන්න ඕන. ගෘහස්ථ ජීවිතය තුළ පංචශීල ප්‍රතිපදාව අනුගමනය කර කය, වචනය සංවර කර ගැනීම වැදගත්. ඒ තුළින් ධර්මය තේරුම් ගැනීමට පහසු වෙනවා. කල්‍යාණ මිතුරන් ඇසුරු කරමින් ශ්‍රැතවත් වෙන්න ඕන. එනම් ධර්මය ඉගෙන ගෙන එහි හැසිරෙන්න අවශ්‍යයි. එයටයි ශ්‍රැතවත් කියෙන්නේ. ධර්මය ඉගෙන ගන්නවිට තමයි සසර පිළිබඳ, ජීවිතය පිළිබඳ වැටහෙන්න පටන් ගන්නෙ. අපි මොනතරම් දේ ඉගෙන ගත්තත් ධර්මය ඉගෙන ගන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පත්වෙන්නේ නැහැ. එතැනින් නවතින්නෙ නැතිව ඇලීම කොපමණ තිබෙනවද කියා බලන්න. අල්ලගෙන ඉන්න ඒවා පළමුව අතහැර බලන්න ඕන. දෙවැනුව දන් දෙන්න පුරුදු වෙන්න අවශ්‍යයි. එවිට තමයි පින්වතුනි, අල්ලගෙන ඉන්න දේ අතහරින්න අමාරුයි කියා වැටහෙන්න පටන් ගන්නෙ. සිතා බලන්න ඔබ මොනතරම් බන්ධන ගොඩකට යටවෙලාද ඉන්නේ කියා. මෙයින් ගැලවීමට නම්, ත්‍යාගශීලීත්වය දියුණු කර ගනිමු. එසේ වූ විට තමයි මැරෙන මොහොතේ අපේ ශරීරය පවා අත්හරින්න පුළුවන් වෙන්නෙ. බැඳීම්වලින් සිත මුදවාගැනීම, මැරෙන්න පණ අදින මොහොතේ ක්‍ෂණිකව කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ක්‍රමයෙන් ත්‍යාගශීලිත්වය පුරුදු කර තිබෙන්න ඕන. එවිටයි අවසාන හුස්ම පොඳ මානසික බැඳීමෙන් තොරව වාතලයට මුදාහරින්න පුළුවන් වෙන්නේ.
ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව යන සේඛ ගුණ ධර්ම පහම ලබාගන්න අප කටයුතු කරන්න වුවමනායි. එවිටයි නිවන පිණිස හික්මුණ කෙනෙක් වෙන්නේ. ප්‍රඥාව ලැබෙන්නෙ සමථ විදර්ශනා භාවනා කිරීම තුළිනුයි. ඒ තුළින් ජීවිතාවබෝධයත් විමුක්තියත් සාක්ෂාත් කරන්න පුළුවන් වෙනවා.
අප ලද භාග්‍යසම්පන්න උතුම් මිනිසත් බව ළාමක ආශාවන්ගෙන් යටපත් නොකර ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගය අනුගමනය කර බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රැතවත් ශ්‍රාවකයෝ වෙමු. මේ ජීවිතයේදීම නිවන් පසක් කිරීමට වෙර දරමු. ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන සේඛ බල ධර්මයන් දියුණු කර ගනිමු.
තෙරුවන් සරණයි!
ආටිගල අමිතදේව හිමි
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........