හදමුද ළපටි බණ්ඩක්කා වලින් රසම රස සලාදයක්. බලන්නකෝ හදන්නේ කොහොමද කියලා එහෙනම්. හරිම රසයි ළපටි බණ්ඩක්කා වලින් හදන නිසා.
අවශ්‍ය දේවල්.
➼ළපටි බණ්ඩක්කා 150g - 200g ක් පමණ
➼තීරු වලට කපා ගත් තක්කාලි ගෙඩි 1
➼සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
➼හීනියට ලියා ගත් රට ලූණු ගෙඩි 1
➼කහ කුඩු ස්වල්පයක්
➼ගම්මිරිස් කුඩු (රස අනුව)
➼ලුණු (රස අනුව)
➼දෙහි යුෂ (රස අනුව)
➼තෙල් (බැද ගැනීමට)
සාදා ගන්නා ආකාරය.
➼මුලින්ම බණ්ඩක්කා වල නැටි කපලා හොදට හෝද ගෙන වතුර බේරෙන්න තියන්න.
➼පස්සේ බණ්ඩක්කා කරල් දික් අතට තීරු විදියට 4ට පලා ගෙන ලුණු කුඩු ටිකකුයි, කහ කුඩු ටිකකුයි දාලා හොදට අත ගා ගන්න.
➼ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා තෙල් දා ගෙන රත් වෙන්න තියා ගන්න.
➼තෙල් රත් වුණාට පස්සේ බණ්ඩක්කා ටික ගැඹුරු තෙලේ තද කොළ පාටට, හොදට හැපෙන ගානට බැද ගෙන තෙල් බේරෙන්න පැත්තකින් තියා ගන්න.
➼දැන් භාජනයක් අරන් ඒකට ලූණුයි, අමු මිරිසුයි, තක්කාලියි දාන්න.
➼ඊළඟට ඒකටම රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි, දෙහි යුෂයි දාලා තක්කලි පොඩි වෙන්නේ නැති වෙන්න හොදට කලවම් කර ගෙන විනාඩි 3 - 5ක් විතර එහෙම්මම තියෙන්න අරින්න.
➼අන්තිමට පිළිගන්න යොදා ගන්න භාජනයට බණ්ඩක්කා ටිකත් එක්ක තක්කලි-ලූණු මිශ්‍රණය දාලා කලවම් කර ගෙන රස බලන්න. (තක්කලි-ලූණු මිශ්‍රණයේ දියර දා ගන්න එපා, නැත්තම් බණ්ඩක්කා ටික පොඟන්න පුළුවන් ඉක්මණින්ම.)
වැදගත්.
➼කැමති නම් ගැඹුරු තෙලේ බැද ගත්ත උම්බලකඩ කෑලි වුණත් මේකට එකතු කරන්න පුළුවන්.
➼අවශ්‍ය නම් බණ්ඩක්කා ගැඹුරු තෙලේ බැද ගන්නේ නැතුව අවන් එකේ බේක් කර ගෙන ගන්න පුළුවන්. (මේ සඳහා 190°C / 375°F උෂ්ණත්වයට කලින් රත් කර ගත්ත අවන් එකක විනාඩි 6 - 8ක් වගේ බේක් කර ගන්න ඕනේ.)
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........