18 December 2015



       ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි.කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර  ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත.

අස්විද නැකත

අස්විද නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. රන් ආභරණයට කැමැති යහපත් ප්‍රිය වචන කතා කරයි. ධනවත්ය. මාපිය උපකාර හිමි ඇය සැම දෙනා සමගින් සතුටින් සිටීමට උත්සාහ දරයි. පිරිසිඳුකම අගයන අතර දැහැමියි. විවාහයේදි සැමියාට දරුවන්ට මහත් ආදරය දක්වනු ඇත. අස්විද නැකතේ සංස්කෘත නාමය “අශ්විනි” වන අතර නැකතට අධිපති දේවතාවා “අශ්විනි කුමාර” නමින් හැදින්වෙයි.

බෙරණ නැකත

බෙරණ නැකතෙන් උපන් ස්ත්‍රිය ගේ සිත චංචලයි. දුෂිතයි. ධන හීනයි. අපිරිසිඳුයි. කළහයට නිතර කැමැත්ත දක්වයි. විවිධ රසවත් ආහාරයට කැමැතියි. අපහාස නින්දාව ලබයි. ඇය ලබනා දරුවන්ද අකීකරුයි. ආත්මාර්ථකාමී අදහස් පෙන්වනු ඇත. රහස් ගුප්ත අදහස් දක්වයි. බෙරණ නැකතේ සංස්කෘත නාමය “භරණී” වන අතර නැකතට අධිපති දේවතාවා වන්නේ “යම” නමින් හැදින්වෙයි.

කැති නැකත

කැති නැකතෙන් උපන් ස්ත්‍රිය සෙම සහිත සිරුරක් සේම කලහයට කැමැතියි. ඉක්මන් කෝපයයි. විවාහයේ දි අඬදබරයට යයි. කෙසඟයි. ඥාති සබදතා ගැන තැකීමක් නැත. දරුඵළ ද හීනවන අතර ආත්මාර්ථකාමීයි. නින්දාව ලබයි. තමාට එරෙහි අය ගැන නිතර ආක්‍රමණශිලි ගති දක්වයි. පලි ගනියි. රජයේ රැකියාවකට වාසනාව ඇත. කැති නැකතේ සංස්කෘත නාමය “ක්‍රිත්තික” වන අතර නැකතට අධිපති දේවතාවා “අග්නි” නමින් හැදින්වෙයි.

රෙහෙණ නැකත

රෙහෙණ නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. හොඳින් වැඩුණ ඇගේ සිරුර අඩුපාඩු නැත. මාපියන්ට ලැදි සාර්ථක විවාහයකට වාසානාව හිමියි. නුවණ ඇති ගති යහපත් ඇගේ හදවත ද පිරිසිදුයි. ධනයෙන් ද පිරිපුන් ඇය ක්‍රියාශිලියි. දරුවන්ද යහපත්. රෙහෙන නැකතේ සංස්කෘත නාමය “රෝහිණි” වන අතර නැකතට අධිපති දේවතාවා “ප්‍රජාපති”නමින් හැදින්වෙයි.

මුවසිරස නැකත

මුවසිරස නැකතෙන් උපන් ස්ත්‍රිය ප්‍රියමනාපයි. ලස්සනයි. අන් සිත් නොරිදවා කතා කරන්නාසේම අනුන්ට ගරු කරයි. සිරුර උෂ්ණාධිකයි. විවිධාකාර ඇඳුම් විලාසිතාවන්ට මෙන්ම රසැති ආහාරයටද කැමැත්ත දක්වන්නීය. එසේම නිතර විවිධත්වයට කැමැති ඇයගේ දරුවන්ද යහපත් වෙයි. පෙර පින් ඇත්තියකි. මුවසිරස නැකතේ සංස්කාත නාමය “මෘගශිර්ෂ” වන අතර මුවසිරස නැකතට අධිපති දේවතාවා “සෝම” (චන්ද්‍ර) නමින් හැදින්වෙයි.

අද නැකත

අද නැකතෙන් උපන් ස්ත්‍රිය සිත දැඩියි. නපුරුයි. සෙම පිත් ආදි අසනීප හිස ඔසවනු ඇත. අනුන් සැප විඳිනවාට කැමැත්ත නොදක්වයි. අවශ්‍ය සහ අනවශ්‍ය දෙය වෙනුවෙන් අතපය දිගහැර වියදම් කරයි. ගුප්ත රහසිගත චරිතයකි. කලබලකාරි ඇය බුද්ධිමත් වුවද තැනට සුදුසු නුවණ හීනවන්නා සේම පිනට දහමට කැමැත්ත අඩු ඇයටද පින අඩුයි. අද නැකතේ සංස්කෘත නාමය වන්නේ “අරිදු” වන අතර නැකතට අධිපති දේවතාවා “රුද්‍ර” හෙවත් “ශිවදෙවි” නමින් හැදින්වෙයි.

පුනාවාස නැකත

පුනාවාස නැකතින් උපන් ස්ත්‍රිය ගුරු මහ දශාවෙන් උපන්නීය. ලස්සනයි. හැඩ ඇති සිරුරකි. ගති යහපත් පිනට දහමට කැමැත්ත දක්වන ඇයට නිවාස යාන වාහන ලබන්න වාසනාව ඇත. තැනට සුදුසු නුවණ හා ඉවසීම ඇත. අනුන්ගේ දුක වේදනාව හඳුනන ඇය අනුන්ට උපකාර කරන්නීය. පුනාවාස නැකතේ සංස්කෘත නාමය වන්නේ පුනර්වංසු වන අතර නැකත අධිපති දේවතාවා “අදිනි” නමින් යුත් “දේවමාතා” නමින් හැදින්වෙයි.

පුෂ නැකත

පුෂ නැකතින් උපන් ස්ත්‍රිය අතිශයින්ම ලස්සන රුවක් හිමි රූමතියකි. ඥාති උපකාර කරනා කාරුණික ඇය පිනට දහමට ලැදියි. අන් සිත් නොරිදවන කතාව කාගේත් සිත් ගනියි. විවාහයෙන් සැප සම්පත් ලබනා අතර යහපත් දූ පුතුන් ලබයි. පිරිපුන් ධනයකට උරුමයි. පුෂ නැකතේ සංස්කෘත නාමය වන්නේ “පුෂ්‍ය” වන අතර නැකත අධිපති දේවතාවා “ගුරු”(අංගිර) නමින් හැඳින්වෙයි.

අස්ලිස නැකත

අස්ලිස නැකතින් උපන් ස්ත්‍රිය කළගුණ නොදනියි. නපුරුයි. කපටියි. අනුන් රිදවා කතා කරයි. බැල්ම පවා වරදක් ලෙස පෙනෙයි. උපන් බිම පල නොදරන අතර විදේශ ගමන්හි කැමැත්ත දක්වයි. උඩඟුයි. අහංකාරයි. කලබලකාරියි. ඒ හේතුවෙන්ම නිතර වැඩ වරද්දා ගනියි. සිත චංචලයි. අදහස් වෙනස් කරයි. පවට කැමැත්ත දක්වන ඇය විවාහයේදි සැප හීන ඇත්තියෙකි. අස්ලිස නැකතේ සංස්කෘත නාමය “අශ්ලේෂ” වන අතර නැකත අධිපති දේවතාවා “නාග” හෙවත් “සරුප” නමින් හැදින්වෙයි.

මා නැකත

මා නැකතින් උපන් ස්ත්‍රිය සමාජයෙන් ගරු බුහුමන් ලබන්නීය. සැප සම්පත් හිඟයක් නැති දැහැමි සිතුවිලි පිරුණ ඇය ගුරුන්ට මාපියන්ට වැඩිහිටියන්ට ගරුසර දක්වන්නීය. ඉවසීම ඇති සතුරන්ට පවා කරුණාව දක්වන ඇය නායකත්වයට උරුම කියන්නීය. යහපත් විවාහයක් හිමි ඇය කරදර බාධා පීඩා ගණන් නොගනියි. රාජ කුමාරිකාවක් සේ පෙරමුණ ගනියි. මා නැකතේ සංස්කෘත නාමය “මාඝ” වන අතර නැකත අධිපති දේවතාවා “පිතෘ” නමින් හැඳින්වෙයි.

පුවපල් නැකත

පුවපල් නැකතින් උපන් ස්ත්‍රිය කලගුණ දන්නා නීතිගරුකයි. කතාව සිත් ගනියි. ව්‍යාපාර, සංගීතයේ දක්ෂයි. ලස්සනට අඳින, පළඳින ඇය සමාජයේ කැපී පෙනෙයි. නිතර ගමනේ යන ඇය විවාහයේදි සැප සම්පත් විඳ යහපත් වාසනාවන්ත දූ පුතුන් ලබයි. දරුවන්ගෙන් වාසනාව හිමියි. නීති ක්‍රියාත්මක ස්ථානයන්හි රැකියාවට සුදුසු චරිතයකි. පුවපල් නැකතේ සංස්කෘත නාමය “පුර්වපල්ගුණි” වන අතර පුවපල් නැකත අධිපති දේවතාවා “භාග්‍ය” නමින් හැඳින්වෙයි.

උත්‍රපල් නැකත

උත්‍රපල් නැකතින් උපන් ස්ත්‍රිය අවංකයි. ස්ථිර සිතුවිලි ඇත. නිරෝගී සිරුරක් හිමි ඇය නිවසේ වැඩට දක්ෂයි. ගිය තැන ප්‍රධානත්වයට කැමැත්ත දක්වයි. ධනවත් ඇය චරිතවත් වන අතර දැහැමියි. පරාර්ථකාමියි. හොර බොරු වංචාවන්ට අකමැති නීතිමය කටයුතු කෙරෙහි මහත් උනන්දුවක් දක්වන්නීය. උත්‍රපල් නැකතේ සංස්කෘත නාමය “උත්තරපල්ගුණි” වන අතර නැකත අධිපති දේවතා “ආර්ය” නමින් හැඳින්වෙයි.

හත නැකත

හත නැකතින් උපන් ස්ත්‍රිය ඉවසන්නීය. ගති යහපත් චරිතවත්ය. අගපසඟයෙන් වැඩුණ ඇය ධනවත්ය. වාසනාවන්ත දරුවන් ලබන්නීය. ලස්සන ඇස් ඇති ඇයගේ අත්, පා වල කෝමල ගතියයි. සිනිඳුයි. කාන්තිමත්ය. විවිධාකාරවු ශිල්ප දනියි. නුවණ ඇත්තියෙකි. හත නැකතේ සංස්කෘත නාමය “හස්ත” වන අතර නැකත අධිපති දේවතාවා හිරු නමින් යුත් “අර්ක” නමින් හැඳින්වෙයි.

සිත නැකත

සිත නැකතින් පුරපස උපන් ස්ත්‍රිය විසිතුරු ආභරණ ඇති ලස්සන රුවැත්තියකි. හැඩයි. කුජ මහ දශාවෙන් උපන් ඇයගේ අතපය තරමක් ගොරෝසුයි. විදෙස් ගතවීමට කැමත්ත දක්වයි. ක්‍රියාශීලියි. නමුත් අවපස උපන් ස්ත්‍රිය නපුරුයි. දිළිඳුයි. සතුරු කරදර නිමක් නැතිවෙයි. එසේම අස්ථිර ගති දක්වන විවිධත්වයට කැමැත්ත දක්වන අතර විවාහයේ සහකරුවා දක්ෂ නැත්නම් අනියමට රහසට කැමැත්ත දක්වන වෙසඟනක් වෙනු ඇත.සිත නැකතේ සංස්කෘත නාමය “චිත්ත” වන අතර නැකත අධිපති දේවතාවා “බ්‍රහ්ම” නමින් හැඳින්වෙයි

සා නැකත

සා නැකතින් උපන් ස්ත්‍රිය චරිතවත්ය. විවාහය යහපත් වන අතර වැඩියෙන් දරුඵල ඇත්තියකි. අවංකයි. ඇත්ත කතා කරයි. සමාජ ගරු සේම බොහෝ අය ඇසුරු කරන්නියකි. පිරිවර ඇත. පුරසඳු බලවත් නම් ඉතාම යහපත්. සඳු අසුබව පිහිටීමෙන් විවාහයෙන් සෑහීමට පත් නොවි අනියම් සබඳතාවන්ට යනු ඇත. සා නැකතේ සංස්කෘත නාමය “ස්වාති” වන අතර නැකත අධිපති දේවතාවා “වායු” නමින් හැඳින්වෙයි.

විසා නැකත

විසා නැකතින් උපන් ස්ත්‍රිය ලස්සනයි. සිහින් සිරුරයි. මිහිරි වචන කතා කරයි. සිත් ගනියි. ඥාති සබඳතා යහපත් ධනවත් වන ඇය ආගම දහමට කැමත්ත දක්වයි. අන් සිත නොරිදවයි. කාරුණිකයි. විවාහය යහපත් දූපුතුන් ද වාසනාවන්තයි. විසා නැකතේ සංස්කෘත නාමය “විශාඛ” වන අතර නැකත අධිපති දේවතාවා වන්නේ “ඉන්දු අග්නි” නමින් හැඳින්වෙයි.

අනුර නැකත

අනුර නැකතින් උපන් ස්ත්‍රිය නිහතමානීයි. ලස්සනයි. මාපිය වැඩිහිටියන්ට ගරු කරයි. යහපත් මිතුරු සබඳතාවයි. සංචාරයට ප්‍රිය විදෙස් ගතවීමේ වාසනාව ඇත. රන් ආභරණ විළාසිතාවන්ට කැමත්ත දක්වයි. යානවාහන හිමි ධනවත් යහපත් දරුපල හිමි අනුන් ගැන නිතරම සිතනා පරාර්ථකාමී චරිතයකි. අනුර නැකතේ සංස්කෘත නාමය “අනුර” වන අතර නැකත අධිපති දේවතාවා “මිත්‍ර” නමින් හැඳින්වෙයි.

දෙට නැකත

දෙට නැකතින් උපන් ස්ත්‍රිය දුටුවන් සිත් ගන්නා රුවැත්තියකි. සත්‍යය කතා කරයි. ගති යහපත්ය. ධනවත් ඥාතින් අතර ප්‍රිය මනාප ඇත්තියකි. නිවසේ කටයුතු මනාසේ කරනා, පින් වැඩට බර, බියක්ද නැති ශක්තිමත් සිරුරකි. සාධාරණයට ගරු කරනා වෘත්තිය කටයුතු වලට දක්ෂ ඇයගේ දරුවන්ද වාසනාවන්තයි. දෙට නැකතේ සංස්කෘත නාමය “ජ්‍යෙෂ්ඨ” වන අතර නැකත අධිපති දේවතාවා “ශක්‍ර” (ඉන්ඳු) නමින් හැඳින්වෙයි.

මුල නැකත

මුල නැකතින් උපන් ස්ත්‍රිය කුලවත්ය. යහපත් ක්‍රියා ඇති සත්‍යය කතා කරනා කීර්තිමත් දිවියකට උරුමය ඇත්තියකි. නමුත් ජන්ම කේන්දරයේ සඳු පීඩිතව නම් නිතර අසනීප ඇති ඥාති සබඳතා හීන අන්‍යයින්ගෙන් කරදර බාධා වෙන මානසික පීඩා ඇති විවාහයේ සැපතට බාධාවන අපහාස ලබනා තම මතයටම වැඩ කරන්නියකි. මුල නැකතේ සංස්කෘත නාමය “මුල” වන අතර නැකත අධිපති දේවතාවා “නෛරු” නමින් හැඳින්වෙයි.

පුවසල නැකත

පුවසල නැකතින් උපන් ස්ත්‍රිය සිකුරු මහදශාවෙන් උපන්නී. ඇගේ සිරුර සියුමැළියි. මෘදුයි. කාන්තිමත්ය. ඇය ලස්සනයි. දුටුවන් සිත් වශී කරවයි. ලස්සනට අඳින පළඳින ඇය තම පවුලේ කටයුතු මූලිකත්වය ගෙන යුතුකම් අකුරටම ඉටු කරන්නීය. ඥාතීන් අතර ප්‍රධානී වෙයි. මාපිය ගුරුන්ට දයාව දක්වයි. ගුප්ත චරිතයක් වෙයි. පුවසල නැකතේ සංස්කෘත නාමය “පුර්වෂධ” වන අතර නැකත අධිපති දේවතාවා “ජලදේවතා” නමින් හැඳින්වෙයි.

උතුරුසල නැකත

උතුරුසල නැකතින් උපන් ස්ත්‍රිය ලස්සනයි. ගති යහපත් නිතර විනෝදයෙන් සතුටින් සිටියි. පොත්පත කියවයි. ආත්ම ගරුත්වය රකිනා ඇයගේ විවාහය ද ඉතාම යහපත් සැමියාට හද පිරි සෙනෙහස දක්වන්නීය. සංචාරයට සහ විදෙස් ගමනට කැමැත්ත දක්වයි. නිතර වැයයි. උතුරුසල නැකතේ සංස්කෘත නාමය “උත්තරෂධ” වන අතර නැකත අධිපති දේවතාවා “විශ්ව” නමින් හැඳින්වෙයි.

සුවණ නැකත

සුවණ නැකතින් උපන් ස්ත්‍රිය අතිශයින්ම රූමත්ය. පිරුණු අගපසඟ ඇති ඇය නුවණැත්තියකි. ශිල්ප ශාස්ත්‍රයේ නිපුණතාවයයි. ත්‍යාගශීලියි. කාරුණිකයි. අලංකාරයට කැමැති ඇය සත්‍යය කතා කරන්නීය. විනෝදයට කැමති, දහමට සිතැති සේම මාපිය ගුරුවරුනට භක්තිය දක්වන්නීය. පරාර්ථකාමීයි. සුවණ නැකතේ සංස්කෘත නාමය “ශ්‍රාවණ” වන අතර නැකත අධිපති දේවතාවා “විෂ්ණු” නමින් හැඳින්වෙයි.

දෙනට නැකත

දෙනට නැකතින් උපන් ස්ත්‍රිය කතාවේ දක්ෂයි. විවිධාකාර රසවත් ආහාර මෙන්ම අලංකාර වස්ත්‍රයන්ට කැමැත්ත දක්වයි. විනෝදකාමී වන ඇය ලිපි ලේඛනයටද දක්ෂයි. කරුණාව මෛත්‍රියෙන් යුක්තයි. අන‍යනට උපකාර කරනා පරාර්ථකාමී ගති දක්වන්නීය. ඇගේ දරුවන්ද යහපත් වන අතර හිසේ රෝගයන්ට ඉඩ ඇත. දෙනට නැකතේ සංස්කෘත නාමය “ධනිෂ්ඨ” වන අතර නැකත අධිපති දේවතාවා “වාසුදේව” නමින් හැඳින්වෙයි.

සියාවාස නැකත

සියාවාස නැකතින් උපන් ස්ත්‍රිය ඉවසීම සහ නුවණ ඇති ඥාති සබඳතා යහපත් කතාවේ දක්ෂ දෙවියන් සහ ශ්‍රේෂ්ඨ ජනයා කෙරෙහි ගරු ඇත්තියෙකි. සත්‍යය කතා කරයි. නීතිය දනියි. සාධාරණය ඉටුකරන්නීය. තැනට සුදුසු ප්‍රඥාවයි. පිනට දහමට කැමැති ආචාරශිලි ගති දක්වයි. ධනවත්ය. සියාවාස නැකතේ සංස්කෘත නාමය “ශතාභිෂ” වන අතර නැකත අධිපති දේවතාවා “වරුණ” නමින් හැඳින්වෙයි.

පුවපුටුප නැකත

පුවපුටුප නැකතින් උපන් ස්ත්‍රිය ලස්සනට අඳියි, පළඳියි. යහපත් අය තෝරා ගෙන ඇසුරු කරන්නීය. විවාහයේදි ස්වාමියාට මෙන්ම දරුවන්ට ද මහත් ආදරය දක්වයි. මාපියන්ට යුතුකම් ඉටුකරයි. පින්දහමට ලැදිව වන අතර ආයුෂ හිමි වාසනාවන්තියෙකි. පුවපුටුප නැකතේ සංස්කෘත නාමය “පුර්වභද්‍රපාද” වන අතර නැකත අධිපති දේවතාවා “අප්පා” (අජෛකපාත්) නමින් හැඳින්වෙයි.

 උත්‍රපුටුප නැකත

උත්‍රපුටුප නැකතින් උපන් ස්ත්‍රිය ස්වාමියාට මහත් හිතෙෂිභාවයෙන් යුක්තයි. ගෞරවය නම්බුව රකිනා ඥාති මිත්‍රාදීන්ට උපකාර කරන්නීය. අහංකාර නැත. සිතුවිලි යහපත් නිසා මාපිය ගුරු ආදරය නිරන්තරයෙන් ම හිමි කර ගනියි. අන්‍යයන්ට උපකාර කරයි. නිවසේ අලංකාරත්වය ගැන වෙහෙසෙයි. උත්‍රපුටුප නැකතේ සංස්කෘත නාමය “උත්තරභද්‍රපාද” වන අතර නැකත අධිපති දේවතාවා “අභිර්බුධ්ක” නමින් හැඳින්වෙයි.

රේවති නැකත
  
රේවති නැකතින් උපන් ස්ත්‍රිය ලස්සනයි. සිත් ගන්නා රුවකි. පිරිසිඳුයි. සතුරු කරදර පීඩා අවමයි. නුවණ ඇත. තේජාන්විතයි. පරිත්‍යාගශීලියි. නැතිබැරි අයට උපකාර කරන්නීය. අලංකාරයට විනෝදයට සැපතට කැමැත්ත දක්වයි. සුරතල් සතුන්ට පවා කරුණාව දක්වයි. ආගමානුකූලයි. ඇතිනි යෝනියයි. රේවති නැකතේ සංස්කෘත නාමය ද “රේවති” වන අතර නැකත අධිපති දේවතාවා “පුෂ්ණ” (පුෂ) නමින් හැඳින්වෙයි.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව