02 October 2017


  මිනිසුන්ගේ ලෞකික ජීවිතය සැපවත් කිරීම උදෙසා නිවස හේතුවන බව ඔබ දැනටමත් දන්නවා. මෙය කොතෙක්‌ වැදගත් ද කිවහොත් ලෞකික ජීවිතයේ සියලුම කටයුතු තීරණය වන්නේ ගෘහය පදනම් කරගෙන බව කිව යුතුයි. මේ නිසා මිනිසුන්ගේ සැපත උදෙසාම විෂ්ණු දෙවියන් විසින් ”මහා වාස්‌තු” ශිල්පය ලොවට දායාද කොට තිබෙනවා. ”මහා වාස්‌තු” ශිල්පයට අනුව ඔබගේ ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත නිසි ලෙස සකස්‌ කොටගෙන ගෘහය ඉදිකළ විට දේව විමන් ඔබගේ නිවහනට ඉහළින් මැවෙනු ඇත. එය ඔබගේ ලෞකික ජීවිතය සැපවත් කරන ක්‍ෂේම භූමියක්‌ වන්නේ එවිටයි.

මේ නිසාම වාස්‌තු ශිල්පයේ බලවත් වූ සිද්ධාන්තවලට එකඟව ඔබගේ ගෘහය ඉදිකිරීමට ඔබ මුල සිටම සිතට ගත යුතුයි. එවිට නිරෝගි සම්පත්‍ය බහුල ධන ධාන්‍යයෙන් ආඪ්‍ය කායික මානසික සැපත ඇති ඔබගේ ක්‍ෂේම භූමිය නිර්මාණය කිරීම හැකියාව ලැබෙනු ඇත.

  වාස්‌තු ශිල්පයේ අනුහස්‌ දන්නා ඔබ මුලසිටම වාස්‌තු සිද්ධාන්තවලට අනුව ගෘහය ඉදිකිරීමට අපේක්‍ෂා කළ ද ඔබටත් නොදැනුවත්ව වරදින තැන් තිබෙන බව මතක තබා ගත යුතුයි. එසේ බහුලව වරද්දා ගන්නා ප්‍රසිද්ධ කරුණු කිරීහිපයක්‌ පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

1. නව භූමිය හෙළි පෙහෙළි කිරීම

  ඔබගේ නව නිවස ඉදිකරන භූමිය පළමුව හෙළි පෙහෙළි කරන අවස්‌ථාව ඉතාමත් වැදගත් අවස්‌ථාවක්‌ වෙනවා. මෙහිදී ඔබ භූමිය කිලිටි නොකොට හෙළිපෙහෙළි කිරීමට වගබලා ගත යුතුයි. භූමිය හෙළි පෙහෙළි කරන මුල්ම දිනය සඳහා නැකැත් ලබාගත හැකිනම් එය සුදුසු වන අතර එසේ නොමැති නම් ඉරිදා සහ අඟහරුවාදා නොමැතිව සතියේ අනෙකුත් දිනයන්වලදී රාහුකාලය පන්නා එම කටයුත්ත සිදුකළ හැකියි. එහිදී දිනයට බලවත් දිශාව බලා දිනයට බලවත් දෙවියන්ට වැඳ පින්දී ඉඩම හෙළි කිරීම කළ යුතු වේ. ඉඩමේ විශාල ගස්‌ ඉවත් කරන්නේ නම් ඔබ වඩාත් විමසිලිමත් වන්න.

ඉඩමේ පැරණි ගස් ඉවත් කිරීම.
  ඉඩමක්‌ සුද්ද කිරීමේදී ඉඩමේ ඇති විශාල ගස්‌ කැපීමේ දී වඩාත් විමසිලිමත් වන්න. මෙහි දී නා, බෝ, නුග, මී වැනි රූස්‌ස ගස්‌ ඉවත් කිරීමේ දී සහ දේව රුක්‍ෂ කොහොඹ හො ශ්‍රියාඵල බෙලි වැනි ගස්‌ ඉවත් කිරීමට ඇත්නම් ඒවා විධිමත් ලෙස ඉවත් කළ යුතුයි. මෙහි දී ඉහත සඳහන් ගස්‌ ඉවත් කිරීම සඳහා අවසර ලබාගත යුතුයි. අඩවියේ බලවත් වන්නා වූ දෙවියන්ගෙන් අවසර ලබාගෙන එම ගස්‌ ඉවත් කිරීමෙන් ඔබට සිදුවන අයහපත් තත්ත්වයන් මගහරවා ගත හැකියි. මීට හේතුව එම ගස්‌වලට අරක්‌ ගත් සුර අසුර කොටස්‌ සිටින බැවිනි.

2. සේවකයන් සඳහා ”හට්‌” ඉදිකිරීම

  ඔබගේ නිවස සාදන ඉඩමේ සේවකයින්ගේ අවශ්‍යතාවය සඳහා හට්‌ ඉදිකිරීමේ දී ඔබ වඩාත් විමසිලිමත් වන්න. ඔබගේ භූමියේ නිවස සෑදීම සඳහා කණු සිටුවා ලණු ඇද මුල්ගල තැබීමට ප්‍රථම සේවකයන් සඳහා හට්‌ ඉදිකිරීම නොකළ යුතු දෙයකි. මෙය ඔබ වරද්දා ගන්නා තැනකි. යම් භූමියක සිදුකරන මුල්ම ඉදිකිරීම සුබ මුහුර්තියෙන් සිදුකළ යුතු අතර සේවක හට්‌ ඉදිකිරීමේ දී ඔබගේ භූමිය ඉඳුල් වී අවසන් වන අතර ඉන් පසුව ඔබට නැකතට කණු සිටුවූවාට එය බලවත් වන්නේ නැහැ. මේ නිසා සේවක හට්‌ ඉදිකිරීම කළ යුත්තේ මුල්ගල තැබුවාට පසුව බව මතක තබා ගන්න. ඔබගේ අවශ්‍යතාවය පරිදි කලින් සේවක හට්‌ ඉදිකිරීම අත්‍යවශ්‍ය වන්නේ නම් සුභ මුහුර්තියක්‌ බලා ගෘහහිමියා විසින් එහි කටයුතු ආරම්භ කළ යුතු අතර ඉඩමේ ගිණිකොණ හෝ වයඹ දිශාවෙන් එම ඉදිකිරීම් ඉදිකළ යුතු වේ. කිසිම විටක ඊශාන හෝ නිරිත දිශාවේ සේවක හට්‌ ඉදි නොකළ යුතුයි.

3. බහිරව පූජාව සඳහා මල්පැල සිටුවීම.

  නිවසක්‌ ඉදිකිරීමේ දී ඔබට වරදින තවත් තැනක්‌ වන්නේ මුල්ගල තැබීමට පෙර බහිරව පූජාව සිදුකරනු ලබන අවස්‌ථාවේ දී ඉඩමේ හතර කොණ සහ බ්‍රහ්ම පාදය මත මල්පැල ඉදිකරන අවස්‌ථාවයි. එහි දී කපු මහතුන් විසින් මල්පැල සඳහා වූ කණු භූමිය හාරා එහි සිටුවීම වැරදි සහගත කටයුත්තකි. එහි දී ඔබගේ ඉඩමේ කණු සිටුවා අවසන් වේ. මේ නිසා ඉඩමේ පළමු කුඤ්ඤය සිටුවීම නැකතට සිදුකිරීමට ප්‍රථම භූමියේ කණු සිටුවීම නොකළ යුතුයි. බහිරව පූජාව සඳහා මල්පැලට අවශ්‍ය කණු භූමියේ සිටුවීම නොකළ යුතු අතර එම කණු එකට බැඳ සකස්‌ කිරීම නියම ක්‍රමය වේ.

3. මුල්ගල තැබීම

  ඔබගේ නිවසට තබන මුල්ගල ඉතාමත් වැදගත් අවස්‌ථාවක්‌ ලෙස සැලකිය යුතුයි. මෙහි දී නූතනයේ දී බොහෝ නිවාස සඳහා වෙළෙඳපොළෙන් ලබාගන්නා මුල්ගල් තබන බව පෙනී යනවා. සමහරවිට මුල්ගල තබන දින ඊට පැය කිහිපයකට කලින් කඩේට ගොස්‌ මුල්ගලක්‌ රැගෙන විත් තබන අවස්‌ථා ද තිබෙනවා. එසේ කිරීම ඉතාමත් වැරදි බව කිව යුතුයි. නිවසට තබන මුල්ගල වාස්‌තුවේ දී හඳුන්වන්නේ ”මඟුල් ගල” යනුවෙනි. එය ගෘහයක තබන මුල්ම භෞතික හා පාරභෞතික මුල්ම ස්‌ථම්භය වේ. මේ නිසා ඔබ නිවසට තබන මුල්ගල නිසි ආකාරයට සකසා නියමාකාරයෙන් පේ කොට තැබීමට වගබලා ගන්න. එසේ නොමැති කල ඔබගේ මුල්ගල මඩේ හිටපු ඉන්නක්‌ ලෙස ක්‍රියාත්මක වනු ඇත. වාස්‌තු ශිල්ප ක්‍රමයට තැබු මුල්ගල ඉන්ද්‍රකීලයක්‌ ලෙස පවතිනු ඇත.

4. ඉඩම හා ගෘහය ඉඳුල් කිරීම

  ඔබගේ ඉඩමේ නිවස සාදා එහි පදිංචි වී ගෘහය ඉඳුල් කරන නැකත සාදා එය ඉඳුල් කිරීම කළාට ඔබ නොදැනුවත්ම ඊට කලින් ඔබගේ නිවස ඉඳුල් වී ඇති බව ඔබ දන්නේ නැහැ නේද? එසේ නම් ඔබගේ නිවස ඉඳුල් කිරීම සිදුකිරීම ඔබ විසින්ම මුලින්ම සිදුකළ යුතුයි. මෙය සිදුකරන්නේ මුල්ගල තබන දවසේමයි. එහි දී කුඤ්ඤ සහ ලණු ඇද මුල්ගල තැබුවාට පසුව ඔබ විසින් ගෘහය සඳහා නූල් ගැසු පරිශ්‍රය තුළ සිට එදිනට නියම වූ ආහාර අනුභවය සිදුකරන්න. මෙහි දී ගෘහ මූලිකයා ඇතුළුව ගෘහ වාසීන් විසින් ප්‍රථමයෙන් ආහාර අනුභව කළ යුතු අතර ඉන් පසුව අනෙකුත් අය ආහාර අනුභව කිරීම කළ යුතුයි. මේ අනුව ඔබටම ඔබගේ ගෘහය ඉඳුල් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. නැත්නම් සිදුවන්නේ නිවස සාදන උදවිය ඔබගේ නිවස ඔබට ප්‍රථම ඉඳුල් කිරීමයි. එය ඉදිරියේ දී ඔබට අයහපත් ලෙස බලපාන බව මතක තබා ගන්න.

5. නිවසේ පදිංචි වීම

  අභිනවයෙන් ඉදිකළ ගෘහයේ නැකතට ඔබ උජාරුවට පදිංචි වූවට ඔබට ප්‍රථම පිටස්‌තර උදවිය නිවසේ පදිංචි වී අවසන් බව ඔබ දන්නවාද? ඔබගේ නිවස ඉදිකරනු ලබන උදවිය සඳහා නිවස තුළ පදිංචි වී එම කටයුතු ඉටුකිරීමට අවස්‌ථාව සලසන්න එපා. එසේම නිවස තුළ ආහාර පිසීම හෝ සකස්‌ කිරීම සිදුකරන්න ඉඩ දෙන්න එපා. ඔවුන්ට නිවසින් පිටත වෙනම පරිශ්‍රයක්‌ සකස්‌ කර දෙන්න. මෙසේ නිවස ඉදිකරන අය නිවසේ පදිංචි වී නිවස ඉඳුල් කිරීම සිදුකළ විට ඔබගේ ගෘහ ඉදිකිරීම ප්‍රමාද වීම සහ ඔබ පදිංචි වීම ප්‍රමාද වන බව මතක තබා ගන්න. ඔබ නැකතට පදිංචි වූවාට නිවසේ එහි යහපත් ප්‍රතිපල ඔබට අහිමි වීමට ඉඩ ඇත. වාස්‌තු ශිල්පයට හිතැති ඔබ ඉතාමත් කැමැත්තෙන් වාස්‌තු සිද්ධාන්තවලට අනුකූලව කටයුතු කළද ඔබටත් නොදැනුවත්ම ඔබගේ නිවසේ වාස්‌තු දෝෂ බලවත් වන අවස්‌ථා කිහිපයක්‌ පිළිබඳව ඔබගේ අවධානය යොමු කළේ ඔබගේ යහපත පිණිසමයි. නූතනයේ දී නිවාස ඉදිකිරීමේ දී ප්‍රායෝගිකව බහුලව සිදුවුව ද කිසිවකුගේ අවධානය යොමු නොවන මෙවැනි කරුණු පවා ඔබ වෙත පෙන්වා දෙන්නේ ඔබගේම යහපත සඳහා බව සිතන්න. ”මහා වාස්‌තු” ශිල්පය අනුව ඉදිවන ඔබගේ නිවසට විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය නිතැතින් ලබාගැනීම සඳහා ඊශාන දිශාව බලා කෙම්මුර දිනවල (බදාදා / සෙනසුරාදා) විෂ්ණු දේව නමස්‌කාරය සිදුකොට පින් අනුමෝදන් කරන්න. එවිට ඔබට වරදින තැන් වලකිනු ඇත.


මූලාශ්‍ර - vaastumadura

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව