සමහර පුද්ගලයින් නින්දෙන් ගොරවන්නේ ඇයි?
නින්දට ගිය විට ගෙරවීමක් ඇතිවන්නේ ග්රසනිකාවේ සහ තල්ලේ බිත්ති දෙදරීමකට ලක්වීමෙන්. අප නාසයෙන් හුස්ම ලෙස ගන්නා වාතය පෙනහලු දක්වා යන්නේ උගුර හරහා ගමන් කිරීමෙන් පසුවයි. අපගේ උගුර අපට ආහාර ගිලීමට උපකාර වනවා සේම හුස්ම ගැනීමට ද උපකාරී වෙනවා.
අප මුඛයෙන් ගන්නා ආහාර පෙනහලු තුළට ගමන් නොකිරීමටත්, නාසයෙන් ගන්නා වාතය ආමාශය තුළට ගමන් නොකිරීමටත් උගුර වග බලා ගන්නවා.
අප උඩුබැලි අතර නිදා සිටින විට අපගේ දිව පසුපසට යා හැකියි. එසේම මෘදු තල්ල ද පසුපසට යා හැකියි. ඇතැමුන්ගේ මෘදු තල්ල සහ දිව විශාලව පිහිටනවා. මෙය නින්දෙන් ගෙරවීමට බොහෝ සෙයින් හේතු වෙනවා.
ඇතැම් පුද්ගලයින්ගේ ගෙරවීමට හේතු වන්නේ ඔවුන්ගේ උගුරේ ඇති සෙම් ගෙඩි. කුඩා දරුවන් බොහෝ විට නින්දෙන් ගොරවන්නේ ආසාදනයන් නිසා සෙම් ගෙඩි විශාල වීම නිසයි. ඒ වගේම නාසයේ තිබෙන ඇඩිනොයිඩ් නම් මස් දල්ල ඉදිමීම ඇතැම් දරුවන්ගේ ගෙරවීමට ප්‍රධානම හේතුව වෙනවා.
එමෙන්ම ඇතැම් පුද්ගලයින්ගේ නාසයේ තිබෙන විශේෂ ලක්ෂණයන් ද ඔවුන්ගේ ගෙරවීමට හේතු වන බව හෙළි වී තිබෙනවා. නාසයේ බිත්ති ඇදව පිහිටීම, නාසය ඇතුළත ගෙඩි හට ගැනීම, පීනස් රෝගය එවැනි හේතු අතරින් කීපයක්.
තරබාරු අය නින්දෙන් ගොරවනවා වැඩි ද?
ඔව්, තරබාරු බව නින්දෙන් ගෙරවීමට හේතු වන තවත් ප්‍රධාන සාධකයක්. විශාල උදරයක් සහිත, කෙටි ගෙලක් සහිත තරබාරු පුද්ගලයින් නින්දෙන් ගොරවනවා වැඩියි.
මත්පැන් පානය කරන අයත් ගොරවනවා වැඩි ද?
සාමාන්‍ය දිනවල දී සුළුවෙන් නින්දෙන් ගොරවන අයකු මත්පැන් පානය කළ විට ඔහුගේ ගෙරවීම අධික වනු නිරීක්ෂණය කළ හැකියි. මත්පැන් පානය කළ විට ගෙලෙහි මාංශපේෂි ඉහිල් වීම එයට හේතුවයි.
එසේම දුම්පානය කරන්නන් ද නින්දෙන් ගොරවනු දැකගත හැකියි. දුම්පානය කරන විට ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වී කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය වැඩිවෙනවා. මෙය නින්දෙන් ගෙරවීමට ප්‍රධාන හේතුවක්. මන්දතයිරොයිඩ්තාවය එසේ නැතිනම් ශරීරයේ තයිරොක්සින් හෝමෝනය අඩුවීම ද ඇතැමුන්ගේ නින්දෙන් ගෙරවිල්ලට හේතු වන බව පෙනෙනවා.
ඇතැම් විට නිදා ගන්නා ඉරියව්ව ද නින්දෙන් ගෙරවීමට හේතු වෙනවා. බොහෝ දෙනෙක් නින්දෙන් ගොරවන්නේ උඩුබැලි අතට නිදාගෙන සිටින විටයි
නින්දෙන් ගෙරවීම පරම්පරාවට යනවා ද?
ඔව්; ඇතැම් විට එසේ සිදු වෙනවා. එසේ වන්නේ ගෙලෙහි ස්වභාවය සහ මාංශ පේශිවල ඉහිල් වීම ආදිය ආරෙට යන නිසයි.
නින්දෙන් ගෙරවීම අපේ ජීවිතයට, අපේ නිරෝගීතාවයට බලපාන කාරණයක් ද?
ඇත්තෙන්ම ඔව්. අධික ලෙස නින්දෙන් ගෙරවීම අපේ ජීවිතයට අපේ නිරෝගීභාවයට සෘජුවම බලපෑම් ඇති කරනවා. නින්දේ දී ඉතා සුළුවෙන් ගෙරවීම එතරම් සැලකිය යුතු කරුණක් වන්නේ නෑ. මෙහිදී සුළු ගෙරවීමක් ;ලස සලකන්නේ එම පුද්ගලයාගේ ගෙරවීම ඔහු නිදා සිටින කාමරයෙන් පිටතට නොඇසෙන ආකාරයේ ගෙරවීමකුයි. එහෙත් ඇතැම් පුද්ගලයින් නින්දෙන් ගොරවන විට ඔහු නිදා සිටින කාමරයේ දොර වසා තිබුණ ද එම ගෙරවිල්ල කාමරයෙන් පිටතට ඇසෙනවා. එය තද ගෙරවීමක්.
කිසියම් පුද්ගලයකු නින්දෙන් ගොරවන විට සිදුවන්නේ ශබ්දය පිටවීම පමණක්නම්, එය එතරම් සැලකිය යුතු කරුණක් වන්නේ නෑ. එහෙත් නින්දෙන් ගෙරවීමකදී අධික ශබ්දයක් පිටවීමට අමතරව එම පුද්ගලයාගේ ස්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී හුස්ම ගැනීම තත්පර කීපයකට නවතිනවා. මෙය විශාල සෞඛ්‍ය ගැටලු රැසකටම හේතුවක්. තත්පර 10 ක් වැනි කාලයක් හුස්ම ගැනීම නැවතුණු විට එම පුද්ගලයාගේ ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. එය සෘජුවම මොළයට බලපානවා. මොළයේ ශෛල මිය යාමට එය හේතුවක් විය හැකියි.
මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වූ විට ශරීරයේ රුධිර වාහිනී සංකෝචනය වී රුධිර පීඩනය වැඩි වෙනවා. එසේම පෙනහලු තුළ රුධිර පීඩනය වැඩිවීමට ද එය හේතුවක්.
මොළයේ ශෛලවලට ඔක්සිජන් අඩුවීම එසේ නැතිනම් සම්පූර්ණයෙන්ම නොලැබීම පසුකාලීනව මතකය අඩුවීමට ප්‍රධාන හේතුවක්. මෙය බොහෝ වැඩිහිටියන් මුහුණ දෙන ප්‍රශ්නයක්.
හුස්ම ගැනීම නැවතී තත්පර 10 ක් පමණ ගතවූ පසුව මොළය විසින් එම පුද්ගලයාව නින්දෙන් අවදි කරනු ලබනවා. මෙම පුද්ගලයා තදබල ලෙස නින්දෙන් ගොරවන අයකු නම්, මුළු රාත්‍රිය පුරාම හුස්ම ගැනීම අවහිර වීම සහ නින්දෙන් අවදි වීම සිදු වෙනවා. එහි ප්‍රතිඵලය එම පුද්ගලයාට රාත්රියේදී සුව නින්දක් නොලැබීමයි. රාත්රියේදී සුව නින්දක් නොලබන පුද්ගලයා දිවා කාලය ගත කරන්නේ නිදිබර ගතියෙන්.
නින්දෙන් ගෙරවීම නිසා හුස්ම සිරවී රාත්‍රිය පුරා විටින් විට නින්දෙන් අවදිවීම එම පුද්ගලයාට දැනෙන්නේ නෑ. ඔහුට දැනෙන එකම දෙය වන්නේ දිවා කාලයේ අධික නිදිමතක් දැනීමයි. එසේම මොවුන් තුළ දිවා කාලයේදී ප්‍රබෝධවත් බව අඩුයි.
නින්දෙන් ගොරවන පාසල් යන දරුවකුට දිවා කාලයේදී තම පාසලේ වැඩ නිසි අයුරින් කරගත හැකි වන්නේ නෑ. රැකියාවක් කරන පුද්ගලයකුටත් ඔහුගේ රැකියාව නියම අයුරින් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. එය එම පුද්ගලයාගේ ඵලදායිතාව අඩුවීමට හේතුවක්.
අප රටේ මෙන්ම ඕනෑම රටක සිදුවන රිය අනතුරුවලට ප්‍රබල හේතුවක් වන්නේ රියැදුරාට නින්ද යාමයි. වාහන පදවනවිට බොහෝවිට එසේ නින්ද යන්නේ රාත්‍රී නින්දෙන් ගොරවන, එම හේතුව නිසා රාත්‍රිය පුරා නින්දක් නොලබන රියදුරන් බව හෙළි වී තිබෙනවා. මෙයින් පැහැදිලි වන්නේ එක් පුද්ගලයකුගේ නින්දෙන් ගෙරවීම සමාජයට විශාල බලපෑමක් කිරීමට සමත් බවයි.
ඇතැම් බටහිර රටවල අධික ලෙස නින්දෙන් ගොරවන පුද්ගලයින් හට රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ නෑ. ඒ; රාත්‍රියම නිවැරැදි නින්දක් නොලබා දිවා කාලයේ නිදිමතින් වාහන පදවන රියදුරන් අතින් විශාල වාහන අනතුරු සිදුවිය හැකි නිසයි.
නින්දෙන් ගෙරවීමෙන් ඇතිවන තවත් බලපෑම් මොනවාද?
නින්දෙන් ගෙරවීම නිසා රුධිරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම රෝගාබාධ රැසකටම හේතුවන කරුණක්. හෘදයට, මොළයට, රුධිර වාහිනීවලට එය තදින්ම බලපෑම් ඇති කරනවා. අධිරුධිර පීඩනයට සහ හෘදයාබාධවලට මෙම තත්ත්වය විශේෂයෙන් හේතු වෙනවා. ආඝාතය, අංශභාගය වැනි රෝග තත්ත්වයන් ඇතිවීමට ද අපගේ ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හේතුවක්. එසේම රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම ලිංගික බෙලහීනතාවට මෙන්ම මදසරු භාවයට ද හේතුවන බව දැන් හෙළිවී තිබෙනවා. අධිරුධිර පීඩනයෙන් පෙළෙන අයකු නින්දෙන් අධික ලෙස ගොරවන්නේ නම්, එම ගෙරවීමට ප්‍රතිකාර කළ පසුව ඇතැම්විට එම අධිරුධිර පීඩන රෝග තත්ත්වය සුව වී යා හැකියි.
නින්දෙන් ගෙරවීමෙන් වැළකී සිටීමට අප කුමක් කළ යුතුද?
කිසියම් අයකුගේ නින්දෙන් ගෙරවීමට හේතුව නාසයේ ඇදයක්, සෙම් ගෙඩි හෝ උගුරේ නාසයේ වෙනත් ආබාධයක් නම්, ඖෂධ හෝ ශල්‍යකර්මයක් මඟින් එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කළ යුතුයි. එමෙන්ම යමෙකුගේ නින්දෙන් ගෙරවීමට ප්‍රධානම හේතුව එම පුද්ගලයාගේ තරබාරු බව නම්, තරබාරු බව අඩුකිරීම මඟින් නින්දෙන් ගෙරවීමෙන් මිදීමේ හැකියාව ලැබෙනවා.
තරබාරු බව අඩු කිරීම එතරම් ලේසි පහසු කටයුත්තක් වන්නේ නෑ. තරබාරු බවින් මිදීමට අධික මේදය, කාබෝහයිඩ්රේට මෙන්ම සීනි අඩංගු ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. තරබාරු පුද්ගලයින්ට වඩාත් සුදුසු වන්නේ නොපිසූ සැලඩ් වැනි ආහාර අනුභව කිරීමයි. මාළු කෑමේදී වඩාත් සුදුසු වන්නේ ඩ්‍රිල් කර ආහාරයට ගැනීමයි. වේලකට ආහාරයට ගන්නා බත් ප්‍රමාණය අඩු කොට එළවළු, පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම මඟින් ද තරබාරු බව පාලනය කළ හැකියි.
නින්ද මදිකමක් ස්ථූල භාවයට හේතුවක් නේද?
ඔව්. ස්ථූල භාවයෙන් මිදීමට, ආහාර පාලනයට වඩා වැඩි ප්‍රයෝජනයක් පැය 6 ක් හෝ 7 ක් සුවසේ නිදා ගැනීමෙන් ලැබෙන බව නවතම පර්යේෂණ මඟින් හෙළි වී තිබෙනවා. ඒ නිසා නින්දෙන් ගොරවන පුද්ගලයින් මෙන්ම ස්ථුල පුද්ගලයින් පැය 6 ක් හෝ 7 ක් සුවසේ නිදා ගැනීමට උත්සාහ කළ යුතුයි. තරබාරුකම නින්දෙන් ගෙරවීමට හේතුවක් වෙනවා සේම සුව නින්දක් නැතිවීම ද හේතුවක් වන බව මෙයින් පැහැදිලි වෙනවා.
නින්දෙන් ගොරවන පුද්ගලයින්ට නිදි වැරීම සුදුසු නෑ. රාත්‍රි වැඩ මුරයන් මොවුනට සුදුසු නෑ. තමා කරන රැකියාව අනුව නිදි වැරීමට සිදුවෙයි නම්, එම පුද්ගලයා එක දිගට රාත්‍රී වැඩමුරයක් කර ඊළඟට එකදිගට දිවා වැඩමුරයක් කිරීම සුදුසුය. එසේ නැතිව දිනක් රාත්‍රී වැඩමුරය කර ඊළඟට දිවා කාලයේ වැඩත් නැවතත් රාත්‍රී වැඩමුරය කිරීම වැනි මාරුවෙන් මාරුවට වැඩමුරයන් කිරීම සුදුසු නෑ.
නින්දෙන් ගෙරවීම පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණයක් තිබෙනවාද?
ඔව්; ඒ පරීක්ෂණය sleep study ලෙස හඳුන්වනු ලබනවා. මෙම පර්යේෂණය සඳහා විශේෂයෙන් සකසනු ලැබූ පර්යේෂණාගාරයක් අවශ්‍යයි. එම පර්යේෂණය සිදු කරන්නේ රෝගියාට නිදාගන්නට සැලැස්වීමෙන්; වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ අධීක්ෂණය යටතේ. එම පරීක්ෂණය සඳහා රෝගියාව යොමු කිරීමට පෙර රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳව සොයා බලනවා. රෝගියාට දහවල් කාලයේ නිතර නිදිමත දැනෙයි නම්, ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා උදෑසන නින්දෙන් අවදි වූ විට තෙහෙට්ටුවක් දැනෙයි නම්, එවැනි පුද්ගලයින් මෙම පරීක්ෂණයට භාජනය කරවනු ලබනවා.
එම පරීක්ෂණයේදී නින්දෙන් කොපමණ වේලාවක් ගොරවන්නේ ද, කොපමණ වේලාවක් හුස්ම නොගෙන ඉන්නේ ද, කී වතාවක් නින්දෙන් අවදි වන්නේද යන තොරතුරු මෙම පර්යේෂණයෙන් සොයා බැලෙනවා. නින්දෙන් ගෙරවීමට ප්‍රතිකාර කිරීම සඳහා එම තොරතුරු ඉතාම ප්‍රයෝජනවත්.
නින්දෙන් ගෙරවීමෙන් මිදීමට ඇති ප්‍රතිකාර මොනවාද?
ඉහතින් දැක්වූ ආකාරයට නින්දෙන් ගෙරවීමට හේතුව නාසයේ ඇදැයක්, උගුරේ සෙම්ගෙඩි වැනි හේතු නම්, ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කළ හැකියි. කිසියම් පුද්ගලයකු ගොරවන්නේ උඩුබැලි අතට නිදාගෙන සිටින විට නම් ඇලයට හැරී නිදා ගැනීමට රෝගියාට උපදෙස් දෙනවා. එහිදී පිටට කොට්ටයක් තබා ගැනීමෙන් උඩුබැලි අතට හැරීමෙන් වැළකී නිදා ගත හැකියි. එසේත් නැතිනම් ලොකු පොල්කටුවක් වැනි යමක් නිදා ගන්නා විට පිටේ රඳවා ගැනීමෙන්, උඩුබැලි අතට නිදා ගැනීමෙන් වැළකී සිටිය හැකියි.
ඉහත ක්‍රමවලින් ප්‍රතිඵලයක් නැතිනම්...?
නින්දෙන් ගෙරවීමෙන් මිදීමට ඉහතින් සඳහන් කළ ප්‍රතිකාර හරියන්නේ නැතිනම්, එයින් මිදීමට සුදුසු උපකරණයක් දැන් නිපදවා තිබෙනවා. එය හඳුන්වන්නේ සී පැප් (C PAP) නමින්. මෙය නින්දෙන් ගොරවන පුද්ගලයින්ට නිපදවා ඇති ඉතා අගනා උපකරණයක්. මෙම උපකරණය පැලඳගෙන නින්දට යා යුතුයි. එහිදී එම උපකරණයෙන් නිකුත් වන වායු ධාරාව නිසා ස්වසන මාර්ගයේ අවහිරතා නැතිවී උගුර, ග්‍රසනිකාව වැනි ස්ථාන විවෘත වී පෙනහලු තුළට ඔක්සිජන් වාතය ඇතුළු වෙනවා. එසේ වන්නේ එම උපකරණයෙන් අධික පීඩනයක් යටතේ වාතය පොම්ප කරන නිසයි.
Sleep Study පර්යේෂණය කරගත හැක්කේ කොහෙන්ද?
කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය ආශි‍්‍රත රෝග ඒකකයට අනුබද්ධව එවැනි පර්යේෂණාගාරයක් පිහිටුවා තිබෙනවා. එයින් එම පරීක්ෂණය සිදු කරගත හැකියි.
උපුටා ගැනීම .සිළුමිණ සුව සම්පත
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........